දේශීය

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලින් වාර්තාවක්

පසුගිය 2025 වසරේදී කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සිදුකළ බහාලුම් ප්‍රමාණය වරාය ඉතිහාසයේ වැඩිම බහාලුම් සංඛ්‍යාව වූ බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 2025 වසරේදී සිදුකළ බහාලු ප්‍රමාණය අසූ දෙලක්ෂ අනූදාහක් වන බවත්, මෙම මෙහෙයුම් කොළඹ වරාය තුළ ඇති බහාලු පර්යන්තය වන වරාය අධිකාරිය සතු ජයබහලු පර්යන්තය, නැගෙනහිර බහාලු පර්යන්තය, චීනයේ සමාගමක් වන SAGT පර්යන්තය සහ ඉන්දීය අදානි සමාගමට අයත් CICT බහාලු පර්යන්තයන්ගේ එකතුවක් වන බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එහිදී 2024 වසරේ කොළඹ වරායේ මෙහෙයුම් සිදු කළ බහාලු ප්‍රමාණය හැත්තෑහත් ලක්ෂය වන අතර 2025 වසරේදී එම ප්‍රමාණය (6%) ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම වාර්තාගත මෙහෙයුම් ඇගයීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක්ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්වුණු අතර මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , අමාත්‍යාංශ ලේකම් W.W.S. මංගල යන මහත්වරුන් ද වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ අනෙකුත් බහාලු පර්යන්ත ප්‍රධානීන් පිරිසකුයි එක්ව ඇත්තේ.

එමෙන්ම කොළඹ වරාය කේන්ද්‍රීය වරායක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් 2026 වසරේ දී ප්‍රති නැව්ගත කිරීම් හා ලොජිස්ටික් පහසුකම් වැඩි දියුණු කිරීමට ද සැලසුම් කර ඇති.

එසේම 2026 වසරේදී වරාය අධිකාරිය සතු නැගෙනහිර බහාලු පර්යන්තය සහ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීමත් සමඟ 2026 වසරේ දැවැන්ත බහාලු ප්‍රමාණයක් මෙහෙය වීමට කොළඹ වරායට හැකි වනු ඇති බවයි අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ.

අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වසරේ රටේ ආර්ථික වර්ධනයට එය දායකත්වයක් වනු ඇති බවත්, මේ වන විට ලෝකයේ ප්‍රමුඛතම නාවික සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ගැන සිය ප්‍රසාදය පල කර ඇති බවයි.

මේ තුළින් එම නැව් සමාගම් ද කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට එක් වීමට නියමිත බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Shares: