විදෙස්

21කට දිවි අහිමි කරමින් ස්පාඤ්ඤයේ බිහිසුණු දුම්රිය අනතුරක්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මලගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ අධිවේගී දුම්රියක් හදිසියේ පීලි පැනීමකට ලක්වී, අසල ඇති අනෙක් පීල්ලේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙම දරුණු ගැටීමත් සමඟ දෙවන දුම්රිය ද පීලි පැන බැම්මකින් පහළට පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (18) දින සවස් වරුවේ සිදුව ඇති මෙම අනතුරින් 75දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඇන්ඩලූසියාවේ ප්‍රාදේශීය රජයේ ප්‍රධානී ජුවාන්මා මොරෙනෝ පවසා ඇත්තේ ඔවුන්ගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මැඩ්රිඩ් අගනුවරට කිලෝමීටර් 360 ක් (සැතපුම් 223) පමණ දකුණින් පිහිටි කෝර්ඩෝබා පළාතේ ඇඩමුස් අසලදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් පසු මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර මාලගා සිට ධාවන වූ දුම්රිය තුළ මගීන් 300කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම අනතුරින් මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියේ රියදුරුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සහන සේවා කණ්ඩායම් සහ හමුදාව එක්ව දැනටමත් මුදාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින අතර අනතුරට හේතුව සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Shares: