‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ වරාය නගරයේ පැවති ප්‍රදර්ශනයකට එක්වෙමින්.
එම ව්‍යසනයෙන් විනාශ වූ කර්මාන්තවලට සිදුවූ සම්පූර්ණ අලාභය පියවීමට රජයට සෘජු ක්‍රමවේදයක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.
බිඳවැටුණු කර්මාන්ත සඳහා ණය පහසුකම්, ණය ගෙවීම් සඳහා සහන කාලයක් ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දී ඇති බවද අබේසිංහ මහතා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැවත ගොඩනැගීමට අවශ්‍ය කර්මාන්ත සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත්වී විශේෂයෙන්ම මහා පරිමාණ කර්මාන්ත 200කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත්, සිදුවූ අලාභය සම්පූර්ණයෙන්ම පියවීමට හැකි ක්‍රමවේදයක් නොමැති බැවින්, රක්ෂණ ආයතනවලට අවශ්‍ය උපදෙස් ලබා දීම, නැවත ගොඩනැගීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමට මැදිහත්වීම වැනි කාර්යයන් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදුකරමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ කර්මාන්තවලින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නැවත තම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත්, ජනවාරි මාසය වනවිට බහුතර කර්මාන්ත සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.










