දේශීය

රුමේනියාවේ රැකියා දෙන බවට පොරොන්දුවී රුපියල් මිලියන 16ක් වංචාවක් කළ කාන්තාවක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 16කට ආසන්න මුදලක් වංචා කළ බවට සැක කෙරෙන කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

SLBFE වෙත ලැබුණු පැමිණිලි 15ක් මත සිදුකළ විමර්ශන අනුව, සැකකාරිය තමා රුමේනියාවේ සේවය කර ඇති බවත්, එරට සම්බන්ධතා හරහා රැකියා සලසා දිය හැකි බවත් පවසා මුදල් එකතු කර ඇති නමුත්, පොරොන්දු කළ රැකියා ලබා නොදුන් බව අනාවරණය වී තිබෙනවා.

ඇයව සෙවීම සඳහා විමර්ශන ආරම්භ කළද සැඟවී සිට, පිළියන්දල, වෙල්ලම්පිටිය, කොළොන්නාව සහ කහතුඩුව ප්‍රදේශවල සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුම් කිහිපයකදීද ඇය පැන ගොස් තිබුණා.

පසුව, රහස් මෙහෙයුමක් මඟින් විදේශ රැකියා ගිවිසුමක් අත්සන් කිරීමේ මුවාවෙන් කොළොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකට කැඳවා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වංචා ක්‍රියාවලියට සහය ලබාදුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකාරිය අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මාර්තු 3 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

⚠️ විදේශ රැකියා සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමේදී බලපත්‍ර සහිත ආයතන හරහා පමණක් කටයුතු කරන්න

Shares: