පේරාදෙණි විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කොටි ගැවසෙන බවට වාර්තා වීමත් සමඟ සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ ගොවිපළ (Veterinary Teaching Farm) ප්‍රදේශයේ සතුන්ට කොටින් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, එම හේතුවෙන් එම ප්‍රදේශය ඇතුළු කැම්පස් පරිශ්‍රය තුළ ගමන් කිරීමේදී විශේෂයෙන් ප්‍රවේශම් වන ලෙස දැනුම් දී තිබෙනවා.
පරිපාලනය පෙන්වා දෙන්නේ උදෑසන පාන්දර, සවස් කාලය සහ රාත්‍රී කාලයේදී කොටි ගැවසීමේ අවදානම වැඩි විය හැකි බැවින් එවැනි වෙලාවන්හි තනිව ගමන් කිරීමෙන් හැකි තරම් වළකින්න යනුවෙනි. එමෙන්ම කැම්පස් පරිශ්‍රය තුළ ඇවිදින විට නිරන්තරයෙන් අවධානයෙන් සිටීමද අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කර තිබෙනවා.
යම් අවස්ථාවක කොටියෙකු දැක ගන්නේ නම් වහාම විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත්, විශේෂයෙන් ගොවිපළ අවට ප්‍රදේශවල ගමන් කිරීමේදී අතිශයින් කල්පනාකාරී විය යුතු බවත් පරිපාලනය සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.
සිසුන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා බවද විශ්වවිද්‍යාල පරිපාලනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා











