මැද පෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, දෙපාර්ශවය අතර ගුවන් ප්‍රහාර, නාවික සටන් සහ මිසයිල ප්‍රහාර ගණනාවක් වාර්තා වෙමින් තිබෙනවා.
වාර්තා අනුව, ඊශ්‍රායලය විසින් සිදු කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරානයේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනෙකු මරණයට පත්ව ඇති අතර, එම ප්‍රහාර අතරින් එක් ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද මරණයට පත්ව ඇති බව වාර්තා වුණා.
මේ අතර, අඟහරුවාදා දින ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු ප්‍රදේශයක සිදු වූ එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ඉරාන යුද නෞකාවක් ගිල්වා නාවික හමුදා සාමාජිකයින් 80 දෙනෙකු මියගොස් ඇති බවද සඳහන් වනවා.
ඉරාන රතු ක්‍රෙසන්ට් සංගමය පවසන්නේ, මෙම ගැටුම් මාලාව හේතුවෙන් ඉරානය තුළ පමණක් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 1,230 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම ලෙබනනයේ තවත් 77 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ද පවසනවා.
ගැටුම් තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමත් සමඟ සයිප්‍රසය සහ තුර්කිය වැනි රටවල් ද ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඉලක්ක විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා. ඒ අතරම යුරෝපීය රටවල් කිහිපයක් නැගෙනහිර මධ්‍යධරණී මුහුදට නාවික යාත්‍රා යෙදවීමටද කටයුතු කරමින් සිටිනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙතෙක් ලබාගත් ජයග්‍රහණ “විශිෂ්ට” වුවද, ඉදිරියේදී තවත් මෙහෙයුම් රැසක් සිදු කිරීමට ඉඩ ඇති බවයි. වාර්තා අනුව, ඊළඟ අදියර ලෙස ඉරානයේ භූගත මිසයිල ගබඩා ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් සිදු කිරීමටද සැලසුම් කර තිබේන බවයි.
මෙම යුද්ධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළවල දැඩි බලපෑම් දක්නට ලැබෙන අතර, ගෝලීය තෙල් හා ද්‍රව ස්වාභාවික ගෑස් සැපයුම්වලටද දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.











