දේශීය

“පානදුර කුඩු සාලින්දු”ට අයත් රුපියල් මිලියන 20කට ආසන්න වත්කම් තහනම් කරයි

විදේශගතව සැඟවී සිටින බවට සැලකෙන ප්‍රකට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සාලින්දු මල්ෂිත ගුණරත්න, එනම් “පානදුර කුඩු සාලින්දු”ට අයත් රුපියල් මිලියන 20කට ආසන්න වටිනාකමකින් යුතු වත්කම් කිහිපයක් තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අනීතික වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙල්ලන හන්දිය ප්‍රදේශයේ පිහිටි වත්කම් කිහිපයක් මෙලෙස තහනම් කර ඇති බවයි. ඒ අතර පර්චස් 40ක භූමියක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ වෙළඳසැලක් ද ඇතුළත් වනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වත්කම් මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් භාවිතා කර ලබාගෙන ඇති බවට සැකයක් පවතින බවයි. ඒ අනුව විශාල පරීක්ෂණයකින් අනතුරුව මෙම වත්කම් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

කාලයක් පෙර විදේශයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ කුඩු සාලින්දු, පසුව අධිකරණයෙන් ඇප ලැබීමෙන් අනතුරුව නැවතත් රහසිගතව විදේශගත වී ඇති බව වාර්තා වනවා.

පසුගිය කාලයේ පානදුර දකුණ, හිරණ සහ පින්වත්ත පොලිස් බලප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් කුඩු සාලින්දු සහ “පානදුර කුඩු නිලංග” නායකත්වය දරන කණ්ඩායම් අතර ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ බවද පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, කුඩු නිලංග සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම ගැටුම් තත්ත්වය මේ වනවිට සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත.

දැනට විදේශගතව සැඟවී සිටින බවට සැලකෙන කුඩු සාලින්දු සම්බන්ධයෙන් අනීතික වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

Shares: