ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අමතක නොවන ස්ථානයක් හිමි කරගත් නැදුම්ගමුවේ රාජා හස්තියා ජාතික කෞතුක වස්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කර හෙට (10) දින විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මෙම විශේෂ අවස්ථාව කොළඹ පිහිටි ජාතික ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේදී පැවැත්වෙන අතර, අනිද්දා (11) සිට ජනතාවට එය නරඹීමට අවස්ථාව ලබා දීමට නියමිත බව බලධාරීහු සඳහන් කර තිබුණා.
ශ්‍රී දළදා මාලිගාව සමඟ බැඳි ඉතිහාසයක් ඇති නැදුන්ගමුවේ රාජා, ආසියාවේ උසම හස්තියා ලෙසද ප්‍රසිද්ධියට පත් වූ අතර, ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ වඩාත් විශ්වාසවන්ත හා සංයමයෙන් යුත් හස්තියෙකු ලෙස සැලකුණා. විශේෂයෙන්ම, නුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය ඔහුට දහතුන් වතාවක් හිමිව තිබීම නැදුන්ගමුවේ රාජාගේ ගෞරවනීයත්වය තවත් ඉහළ නැංවූ කරුණක වුනා.
දළදා පෙරහරට පමණක් නොව දිවයින පුරා පැවැත්වූ ප්‍රමුඛ පෙළේ පෙරහර රැසකද පෙරමුණ ගෙන කරඬුව වඩම්මවමින් යන ගමන් මඟ ඔහු ගමන් කළේ බොහෝවිට පාගමනින්ම වීමත් ඒ සදහා දැක්වූ විශේෂ කැමැත්ත ඔහුගේ විශේෂත්වයක්. එමෙන්ම, ඔහුගේ රැකවරණය භාරව සිටි “කළු මාමා” වෙතින් ලද ආදරය සහ කරුණාවද නැදුන්ගමුවේ රාජා වඩාත් සංයමයෙන් යුත් හස්තියෙකු බවට පත් වීමට බලපෑ කරුණක් බව නොනොරහසක්.
2022 මාර්තු 7 වැනිදා දිවිසැරිය නිමා කළ නැදුන්ගමුවේ රාජාගේ දේහය, එම හස්තිය වටා ගොඩනැගුණු ආගමික හා සංස්කෘතික වටිනාකම් මතු පරපුරට සුරක්ෂිත කර තැබීමේ අරමුණින් සංරක්ෂණය කිරීමට තීරණය කෙරිණා. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සත්ව සිරුරු සංරක්ෂණය කිරීමේ ක්‍රමවේදය අනුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහුගේ චර්මය හා දළ යුගලය ඉවත් කර දැන් සුරක්ෂිතව සංරක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව, ජීවමාන ස්වරූපයට සමාන ලෙස ප්‍රතිස්ථාපනය කරන ලද නැදුන්ගමුවේ රාජාගේ මෙම අනුරුව දැන් ජනතාවට නරඹා බැලීමට අවස්ථාව සැලසෙන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයක් මෙන්ම ආගමික ගෞරවයක් නිරූපණය කරන සුවිශේෂී සිහිවටනයක් ලෙසද සැලකනවා.











