උණුසුම් පුවත්දේශීය

ගෘහ සේවකයන් සම්බන්ධයෙන් පොලීසියෙන් මහජනතාවට විශේෂ අවවාදයක්

ගෘහ සේවකයන් ලෙස සේවයට යොදවාගත් පුද්ගලයන් විසින් නිවාසවල තිබූ රන් ආභරණ, මුදල්, විදේශ මුදල් හා වෙනත් වටිනා දේපළ සොරකම් කළ බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක් අනුව, කොළඹ සහ එහි අවට ප්‍රදේශ වන මිරිහාන, මහරගම, දෙහිවල, ගල්කිස්ස ඇතුළු දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ගෘහ සේවකයන් සේවයට ගැනීම සාමාන්‍ය දෙයක් බවයි.

එම සේවකයන් බොහෝවිට නියෝජිත ආයතන, අතරමැදියන් හෝ ව්‍යාපාරික ස්ථාන හරහා ලබාගන්නා අතර, සමහර අවස්ථාවලදී නිවාස හිමියන් විසින් සෘජුවමද සේවයට යොදවා ගන්නා බවට වාර්තා වනවා.

කෙසේ වෙතත්, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සමහර ගෘහ සේවකයන් විසින් ඔවුන් සේවය කළ නිවාසවල තිබූ මුදල්, රන් ආභරණ, දේපළ හා විදේශ මුදල් අසාධාරණ ලෙස රැගෙන ගොස් ඇති අවස්ථා කිහිපයක් ඇති බවයි.

ඒ අනුව මෙවැනි සිදුවීම් වලින් වැළැක්වීම සඳහා මහජනතාවට සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.

ගෘහ සේවකයන් සේවයට ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු

* සමහර අවස්ථාවල සම්පන්න පවුල්වල නිවාස ඉලක්ක කරගෙන කණ්ඩායම් වශයෙන් සේවයට පැමිණෙන පුද්ගලයන් සිටිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය.
* කෙටි කාලයක් තුළ නිවාස හිමියන්ගේ විශ්වාසය ලබාගෙන පසුව එය වැරදි ලෙස භාවිතා කරන අවස්ථාද ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
* සේවයට ගැනීමට පෙර පුද්ගලයාගේ පසුබිම සහ පුද්ගලික තොරතුරු හොඳින් තහවුරු කර ගැනීම වැදගත්ය.
* ජාතික හැඳුනුම්පතේ පැහැදිලි පිටපතක් ලබාගෙන මුල් ලේඛනය සමඟ සසඳා බලන්න.
* පුද්ගලයාගේ ස්ථිර සහ තාවකාලික වාසස්ථානවල පොලිස් ස්ථානවලින් වාර්තාවක් හෝ පිරික්සුමක් ලබා ගැනීම සුදුසුය.
* ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහ හදිසි සම්බන්ධතා දුරකථන අංක කලින් සටහන් කර තබා ගැනීම වැදගත් වේ.
* නිවස තුළ ඇති රන් ආභරණ, මුදල් සහ වැදගත් ලේඛන ආරක්ෂිත ස්ථානයක තබා ගැනීමට වගබලා ගන්න.
* හැකි සෑම අවස්ථාවකම ගෘහ සේවකයන් නිවස තුළ තනිවම තැබීමෙන් වැළකිය යුතු අතර එය අවශ්‍ය නම් වටිනා දේපළ ආරක්ෂා කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්න.
* සේවයට ගත් පුද්ගලයා සම්බන්ධ ලේඛන පිටපත් අදාළ පොලිස් ස්ථානයේ භාර නිලධාරියාට (OIC) ලබා දී එම සේවය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමද උපදේශනය කරයි.

මහජනතාවගේ අවධානය වැඩි කිරීමත් මෙම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් මගින් මෙවැනි සොරකම් හා වංචා සිද්ධීන් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි බවද ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කර තිබුණා.

 

Shares: