දේශීය

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට

රටේ බලශක්ති කළමනාකරණය පිළිබඳ උණුසුම් දේශපාලන සංවාදයක් මැද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාර දී තිබෙනවා.

මෙම යෝජනාවේදී, නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමාණවත් හා ගුණාත්මක ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බව දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. එමෙන්ම, ජාතික වැදගත්කමක් ඇති බලශක්ති වත්කමක් අධීක්ෂණය කිරීමේදී ඇතිවූ මෙම නොසැලකිලිමත්කම, අමාත්‍ය වගකීම් උල්ලංඝනයක් ලෙසද පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අල්ලස් පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවද විපක්ෂය පෙන්වා දුන්නා.

මෙම යෝජනාව අද උදෑසන කථානායකවරයා වෙත භාර දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළා.

මේ අතර, වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව විශේෂ විවාදයක්ද අද පස්වරු 2.00 සිට 5.30 දක්වා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මෙම විවාදයට සහභාගී වෙමින් තම අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

දේශපාලන උණුසුම අතර, බලශක්ති අංශයේ අනාගතය පිළිබඳ තීරණාත්මක මොහොතක්!

Shares: