උණුසුම් පුවත්

මීගමුවෙන් ඉන්දුනීසියානු ජාතිකයින් 76ක් අත්අඩංගුවට – වීසා නීති උල්ලංඝනයක්.

වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 76 දෙනෙකු, මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදු කළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, සැකකරුවන් සංචාරක සහ ව්‍යාපාරික වීසා යටතේ මෙරටට ඇතුළු වී ඇති බව හෙළිවිය. එයින් 36 දෙනෙකු වීසා කාලය ඉක්මවා රැඳී සිට ඇති අතර, අනෙක් 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස පදිංචිව සිටි බව අනාවරණය වුණා.

කාන්තාවන් හය දෙනෙකු ඇතුළුව 25 ත් 35 ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙම පිරිස, ආගමන හා විගමන පාලක ජෙනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර, ඉදිරියේදී ඔවුන් රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව නිලධාරීන් සඳහන් කළා.

මෙම වැටලීම, නීතිවිරෝධී විදේශික පදිංචිය පිළිබඳ බලධාරීන්ගේ අවධානය තවදුරටත් දැඩි කරමින් තිබෙනවා.

 

Shares: