දේශීය

අවුරුදු සතියේ අනතුරු ඉහළට

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ, වසරේ අනතුරු වැඩිම සතිය ලෙස මේ සතිය හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පෙන්වා දෙන්නේ, සෑම වසරකම ලක්ෂ 13කට ආසන්න පිරිසක් අනතුරු හේතුවෙන් රෝහල් ගත වන බවයි.

එහිදී, සාමාන්‍යයෙන් සතියකට රෝගීන් 25,000ක් පමණ ප්‍රතිකාර ලබන අතර අවුරුදු සතියේ එම ගණන 29,000කට ආසන්නව ඉහළ යන බව නිරීක්ෂණය වී තිබෙනවා

අනතුරු වර්ධනය වීමට ප්‍රධාන හේතු ලෙස මහාමාර්ග අනතුරු, සතුන් සපාකෑම්, පුද්ගලයන් අතර කලකෝලාහල මෙන්ම බොහෝ වෙලාවට ගිනිකෙළි භාවිතය (දැන් අඩු වීමක් තිබේ) සැලකිය හැකියි.

මෙම කාලයේ පොදු ප්‍රවාහනයට වඩා පෞද්ගලික වාහන භාවිතය වැඩිවීමත් සමඟ, වාහන නිසි ලෙස නඩත්තු කර තිබේද යන්න ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි

විශේෂයෙන්, මෝටර් බයිසිකල් අනතුරු වැඩියෙන් වාර්තා වන බැවින්, නිවැරදි හෙල්මට් භාවිතය, ළමයින්ටද හෙල්මට් පැළඳීම අනිවාර්ය කරගන්න

අලුත් අවුරුදු ක්‍රීඩා අනතුරු වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රීඩා සඳහා විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ක්‍රීඩා උත්සව හැකි තරම් උදෑසන කාලයේ පැවැත්වීම, ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් ජලය සහ ලවණ ලබාදීම, උෂ්ණත්වය ඉහළ බැවින් සූර්ය තාපයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු යෙදීම, ප්‍රථමාදාර පිළිබඳ දැනුවත් ව සිටීම අත්‍යවශ්‍ය කරුණක්.

මෙවර උණුසුම් කාලගුණයත් සමඟ ඔබගේ ආරක්ෂාව ඔබගේ අතේ..
අවුරුදු සතුටට අනතුරු එකතු නොකර, ආරක්ෂිතව සමරමු.

සුභ සිංහල හින්දු නව වසරක් වේවා!

Shares: