ක්‍රීඩා

කමිඳු – චාමික – දුෂාන් ග්‍රීන්ස් පිල වේලාසනම අවසන් තරගයට රැගෙන යති

කමිඳු - චාමික - දුෂාන් ග්‍රීන්ස් පිල වේලාසනම අවසන් තරගයට රැගෙන යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් බ්ලූස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කළ ග්‍රීන්ස් කණ්ඩායම තරගාවලියේ පිට පිටම ලද තෙවැනි තරග ජය වාර්තා කිරීමට අද (11 දා) පස්වරුවේදී සමත්විය. එම ජයග්‍රහණයත් සමඟම ග්‍රීන්ස් කණ්ඩායම කිසිදු අපහසුවකින් තොරව ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

කාසියේ වාසිය දිනාගත් බ්ලූස් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝර ගත් අතර එම තීරණයේ ප්‍රතිලාභ ලෙස ග්‍රීන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 57 කදී දවා ලීමට එම පන්දු යවන්නෝ සමත්වූහ. මෙම තත්ත්වය මත දැඩි අසීරුතාවයට පත් වුණු ග්‍රීන්ස් කණ්ඩායමේ මැද පෙළට දැවැන්ත පීඩනයක් එල්ල වුණු නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන නායක කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න එක්ව වගකීම් කරට ගනිමින් පිතිහරඹයේ නියැලිණ.

කණ්ඩායමට තම අවශ්‍යතාවය වඩාත්ම අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු කමිඳු මෙන්ඩිස් කිසිදු කලබලයකින් තොරව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39 කදී ලකුණු 50 ලබා ගත් අතර ඊට හතරේ පහර 5 ක් ඇතුළත් කර ගත්තේය. කමිඳුගේ ඉනිම ග්‍රීන්ස් පිලට ස්ථාවරත්වයක් ලබා දෙද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් චාමික කරුණාරත්න පන්දු 30 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් ලබා කණ්ඩායමට අවශ්‍ය වේගවත් ජවය ලබා දුන්නේය.

මොවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 82 ක් වූ අතර එම සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 158 ක් වශයෙන් ස්ථාවරත්වයකට පැමිණිමට ග්‍රීන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම තරගයේදී ග්‍රීන්ස් පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පළමු වතාවට ක්‍රීිඩා කළ නමුත් ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 06 ක් පමණි.  . තරගාවලියේ මහත් බලාරොත්තු තබා සිටින පවන් රත්නායක අද දිනයේදීත් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

ලකුණු 159 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි බ්ලූස් කණ්ඩායමේ පිතිකරුවන් පීඩනය මතම එකිනෙකා දැවී ගියේ පන්දුවාර 15 ක් අවස් වන විට ලකුණු 86 කට තම ඉනිම සීමා කර ගනිමිනි. බ්ලූස් පිතිකරුවන් කරකවා අත හැරි පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ප්‍රතිවාදී පිලේ කඩුලු 4 ක් දවා ගත්තේ තම පන්දුවාර 4 ලකුණු 18 කට සීමා කර දමමිනි. ඔහුට අමතරව පිත්තෙන් සාර්ථක වුණු චාමික කරුණාරත්න පන්දුවෙන්ද සාර්ථකම වෙමින් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාලූවේය. මීට පෙරද චාමික තරගාවලිය ආරම්භ කරමින් බ්ලූස් පිලට එරෙහිව පැවැති තරගයේදී පිත්තෙන් නොදැවී ලකුණු 47 ක්ද පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් ද දවා ලමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යෑමට සමත්වූවේය.

ප්‍රතිවාදී පිලේ පන්දු යැවීමේ දක්ෂතා හේතුවෙන් බ්ලූස් කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙකු පමණක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් ලබා ගත් අතර ඒ අතරිනුත් වැඩිම ලකුණු ලාභියා වූයේ ධනංජය ද සිල්වා (18) පමණි. කෙසේ වෙතත් බ්ලූස් පිලේ අංක 3 පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ඇඟිල්ලේ පන්දුවක් වැදීම නිසා ඔහු පන්දුවට පහර නොදී පිටියෙන් අවාසනාවන්ත ලෙස ඉවත් ව ගියේය. කෙසේ වෙතත් කණ්ඩායමේ සිටින පළ පුරුදු පිතිකරුවන් වූ දසුන් ශානක, අෂේන් බණ්ඩාර සහ නායක දුනිත් වෙල්ලාලගේ අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී ගියහ

ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 186 යි – (කමිඳු මෙන්ඩිස් 50, චාමික කරුණාරත්න 41*, කමිල් මිශාර 10, කුසල් මෙන්ඩිස් 06, භානුක රාජපක්ෂ 20, සදීර සමරවික්‍රම 17, පවන් රත්නායක 00, දුෂාන් හේමන්ත 07*, අකිල ධනංජය 25/2, ඩිල්ෂාන් මදුශංක 32/2, අසිත ප්‍රනාන්දු 26/1, දුනිත් වෙල්ලාලගේ 29/1)

බ්ලූස් කණ්ඩායම පන්දුවාර 15 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි – (ධනංජය ද සිල්වා 18, රවිඳු ප්‍රනාන්දු 16, අකිල ධනංජය 16*, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 01, කුසල් පෙරේරා 06, අෂේන් බණ්ඩාර 08, දසුන් ශානක 02, දුනිත් වෙල්ලාලගේ 02, දුෂාන් හේමන්ත 18/4, චාමික කරුණාරත්න 17/2, ට්‍රෙවීන් මැතිව් 20/1, ප්‍රෙමා්ද් මදුෂාන් 12/1, නුවන් තුෂාර 18/1)

Shares: