දේශීය

ගුරු බඳවා ගැනීම් ළඟදීම

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

එබැවින් එම අධිකරණ කටයුතු අවසන් වූ වහා ම ගැසට් පත්‍රය නිකුත් කර උපාධිධාරින්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

ඇය මේ බව පැවසුවේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි.

එසේ ම අවශ්‍ය කරන අනෙකුත් උපාධිධාරී බඳවාගැනීම් මේ වනවිට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදි ම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සීමාව දීර්ඝ කිරීමටත්, දැනට පවත්නා සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවාගැනීම් සිදු කිරීමටත් මෙහි දී එකඟත්වය පළ කළා.

Shares: