දේශීය

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

“සෙයිරි සතිය“ නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩපිළිවෙල අද සිට දින 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණයි.

ඒ අනුව රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදු කිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරෙයි.

ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතු වනවා.

ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් රථ සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇති කරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇති බව ද සඳහන්.

Shares: