එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය මේ මස 21වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී උදෑසන 9.30ට පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
මීට පෙර මෙය 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඵජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන සංවත්සරය 21 වැනිදා දක්වා කල් දැමීමටයි තීරණය කළේ.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වු වජිර අබේවර්ධන මහතා කියා සිටින්නේ මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට ආරාධනා කරන බවයි.
විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීම යන තේමාව සඳහා ආණ්ඩුවට එරෙහිව පසුගිය දිනවල පෙළගැසුණු සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව ද වජිර අබේවර්ධන මහතා පැවසුවා.
වර්තමාන දේශපාලන තත්ත්වය ,රට හමුවේ ඇති අභියෝග සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ වර්තමානයේ වගකීම සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින විශේෂ ප්‍රකාශයක් රට හමුවේදී සිදුකිරීමට නියමිත බවයි අබේවර්ධන මහතා කියා සිටියේ.
දේශපාලන පක්ෂ රැසක නායකයින් මෙම සංවත්සරයට සහභාගි වන නිසා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙන් පිට ස්ථානයක මෙම සමුළුව පැවැත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.









