දේශීය

කථානායකට එරෙහිවත් විශ්වාසභංගයක් ගේනවා – සජබ මහ ලේකම්

කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ, කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවයි.

එහිදී අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

“කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා, ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද ? අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න. අපි කැමතියි වාද විවාද කරන්න.”

Shares: