විදෙස්

ඕස්ට්‍රේලියානුවන් මිලියන 1.5කට විය හැකි බරපතළ අවදානමක් ගැන අනතුරු ඇඟවෙයි

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඕස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් අනතුරු අඟවා තිබෙනවා.

එහිදී ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, උෂ්ණත්වය වැඩිවීම්, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බවයි අදාළ වර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඕස්ට්‍රේලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවයි.

“බොහෝ ඕස්ට්‍රේලියානුවන් මෙම වාර්තාවට මුහුණ දෙනු ඇතැයි මම සිතමි … මම ජනතාවට කියන්නේ, අභියෝග පිළිබඳව පැහැදිලි ඇස් ඇතිව සිටිමු, තර්ජන පිළිබඳව යථාර්ථවාදී වෙමු, නමුත් අනාගතය සඳහා ශුභවාදී වෙමු,” යනුවෙන් බොවන් මහතා පවසා තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් සිඩ්නි හි මියයන පුද්ගලයින් සංඛ්‍යාව 400%ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවයි අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම තත්ත්වය මෙල්බර්න්හි තුන් ගුණයකින් පමණ වැඩි විය හැකි බව ද එම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

තවද උතුරු ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ සහ ප්‍රධාන නගරවල පිටත තදාසන්න ප්‍රදේශ විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බව මෙමගින් පෙන්වා දෙනවා.

එසේම ක්වීන්ස්ලන්තයේ මහා බාධක පරය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ නින්ගලූ පරය වැනි කොරල්පර – දැනටමත් වාර්තාගත විරංජන සිදුවීම්වලට ලක්ව ඇති අතර උණුසුම් සාගර හේතුවෙන් “විරංජනය වීමේ සහ ජෛව විවිධත්වය අහිමි වීමේ” වැඩි අවදානමකට මුහුණ දෙන බවයි එම දේශගුණික වාර්තා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Shares: