‘උරුමය’ වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වංචාවට සම්බන්ධ යැයි සැක 43 හැවිරිදි බකමූණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බව සඳහන්.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුව පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණයෙන් නියෝග ලබා ගැනීමටද කටයුතු කරයි ඇත්තේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 164 දෙනෙකුට “උරුමය” වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා තමා නීතීඥවරියක් බව පවසමින් එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන ඇති බවයි.
2024 වසරේදී “උරුමය” වැඩසටහනට මුවා වී, ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා මෙම මුදල් වංචාව සහ සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලද පැමිණිල්ලක් මතයි මෙම විමර්ශන ආරම්භ කර තිබුණේ.











