2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වන දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවයි.
ඒ අනුව,
2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග ඇතුළත් ව සිදු කිරීම යෝග්‍ය බවයි දැනුම් දී ඇත්තේ.
- 2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම.
- දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික හා පාසල් ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය.
- ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පළමුවන ශ්‍රේණියේ නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳ ව පළමුවන ශ්‍රේණියට පිවිසෙන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.
- නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදු කිරීම.
එමෙන්ම, නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අයුරින් මෙම වැඩසටහන පැවැත්විය යුතු අතර සිසුන්ට හා දෙමාපියන්ට කිසිදු අපහසුතාවක් නොවන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට අවධානය යොමු කළ යුතු වනවා.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට පාසලේ සියලු ම අංශ සහ පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශ්වවල සහයෝගය හා සහභාගිත්වය ලබා ගැනීම සුදුසු බව ද එහි සඳහන්.
එසේම පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන (ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක්) 2026 ජනවාරි මස 02 වනදා සිට 2026 ජනවාරි 16 දින දක්වා (රජයේ නිවාඩු දින හැර) ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව ක්‍රියාත්මක කළ යුතු බවයි දැක්වෙන්නේ.
දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට පසුව පාසලට ඇතුළත් කර ගනු ලබන සිසුන් වෙනුවෙන් ද ඉහත සඳහන් අදාළ ක්‍රියාකාරකම් නම්‍යශිලී ලෙස සිදුකිරීමට පළමුවන ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතු වනවා.
ඒ අනුව සකස් කරන ලද උපදෙස් සහිත ලිපිය සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම පාසල් ප්‍රධානීන් (ප්‍රාථමික පන්ති පැවැත්වෙන රජයේ පාසල් හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්) වෙත යොමුකර ඇති බවයි එහි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.











