දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන, තංගල්ල ධීවර වරායට රැගෙන එනු ලැබු මලු 51ක තුළ තිබූ මත්ද්‍රව්‍යවල සමස්ත බර කිලෝග්‍රෑම් 839.254ක් බව නාවික හමුදාව සඳහන් කරනවා.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් අඩංගු බවයි ඔවුන් පැවසුවේ.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් ද මෙම මත්ද්‍රව්‍ය පාර්සල්වල අඩංගුව තිබෙනවා
තංගල්ල රැකව මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු උර තොගයක් දැක තිබුණේ ධීවරයින් පිරිසක් විසින්.
ඔවුන් විසින් ඒ පිළිබඳව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව දැනුවත් කර තිබුණා.
ඒ අනුව නාවික හමුදාව හා ගුවන් හමුදාව ඒකාබද්ධව පියවර ගෙන ඇත්තේ එම පාර්සල් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඒමටයි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය උනාකූරූවේ ශාන්ත නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බවටයි වාර්තා වන්නේ.
යාත්‍රා 3ක් මගින් රට තුළට මත්ද්‍රව්‍ය තොගයක් ගෙනවිත් ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දින 32ක් පුරා දෙවුන්දර සහ තංගල්ල මුහුදු තීරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබෙනවා.
අදාළ යාත්‍රාවල පිරිස් සම්බන්ධ කරගත් ඔවුන් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබාදී නොතිබුණු අතර, යාත්‍රා පවතින ස්ථානය හඳුනාගැනීම සඳහා එහි සවිකර තිබූ පද්ධතියද ඔවුන් ක්‍රියාවිරහිත කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.










