විදෙස්

බොලිවුඩ් තරු දීපිකා එක්ක කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක් – ඕස්ට්‍රේලියාවත් ඒ අතර

බොලිවුඩ් සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන් මෙටා AI හි නව ඉංග්‍රීසි හඬ ලෙස මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

ඉන්දියාව, අමෙරිකාව සහ තවත් රටවල් 4 ක මෙටා AI සඳහා නව හඬ ලෙස තමන් සිය දායකත්වය දක්වන බවයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී ඇත්තේ.

ඊළඟ පරම්පරාවේ AI තාක්ෂණයට තම හඬ ලබා දීම පිළිබඳ ඇගේ උද්යෝගය බෙදා ගනිමින් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ඇය මෙටා AI සඳහා චිත්‍රාගාරයකදී ඇගේ හඬ පටිගත කරන වීඩියෝවක් බෙදා හැර තිබුණා.

එහි ඇය පවසා සිටින්නේ “හායි, මම දීපිකා පදුකෝන්. මමයි මෙටා AI හි නව හඬ. ඉතින් මුද්ද තට්ටු කරන්න, එවිට මගේ හඬ විවර වේවි,” යනුවෙන්.

එමෙන්ම එම වීඩියෝව බෙදා ගනිමින්, “හායි, ඉතින් මේක හරිම අපූරුයි කියලා මම හිතන්නේ! මම දැන් මෙටා AI හි කොටසක් වන අතර ඔබට ඉන්දියාව, එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා ඉංග්‍රීසි භාෂාවෙන් මගේ හඬ සමඟ කතාබස් කළ හැකිය.” යනුවෙනුයි ඇය සටහන් කර ඇත්තේ.

මේ අනුව, මෙටා හි සංවාදශීලී AI වේදිකාවට ඇගේ හඬ ඒකාබද්ධ කළ ගෝලීය පෞරුෂයන් කිහිපයෙන් කෙනෙකු බවට ඇය පත්වනවා.

මෙම පියවර දීපිකාගේ වර්ධනය වන ජාත්‍යන්තර බලපෑම ඉස්මතු කරනවා පමණක් නොව, හුරුපුරුදු හඬවල් හරහා පරිශීලක අන්තර්ක්‍රියා පුද්ගලීකරණය කිරීමට මෙටා දරණ උත්සාහයේ ප්‍රධාන පියවරක් ද සනිටුහන් කරයි.

එමෙන්ම ඇයගේ සහභාගීත්වය AI අත්දැකීමට මානුෂීය බවක් එක් කරන අතර එය ලොව පුරා සිටින ඇගේ මිලියන සංඛ්‍යාත රසිකයින් දීපිකා හා සමිපවිමක් වනවා.

මිට අමතරව The Live Love Laugh (LLL) පදනමේ නිර්මාතෘවරියක් ද වන දීපිකා පදුකෝන් මෑතකදී, මධ්‍යම සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍යාංශය (MoHFW) විසින් පළමු මානසික සෞඛ්‍ය තානාපතිනිය ලෙස ද ඇය පත් කර ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

Shares: