2015 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා” රන් පදක්කම අදාළ විශ්ව විද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබුවා.
එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන මොරටුව ප්‍රදේශයේ පදිංචි කල්පනා මානවඩු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතායි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
එමෙන්ම ඉදිරියේදී මෙම රන් පදක්කම් පිරිනැමීම සඳහා විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අදාළ විශ්ව විද්‍යාලයට නියෝග කර තිබෙනවා.
පෙත්සම්කාරිය කියා සිටින්නේ අදාළ රන් පදක්කම සඳහා 2016 වසරේ මාර්තු මස 9 වනදා තමන් අයදුම්පත් ඉදිරිපත් කළ බවයි.
පසුව ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බවට පාලනාධිකාරිය නිවේදනය කළ බවත්, ඉන් අනතුරුව තමන් යළි අයදුම් පතක් ඉදිරිපත් කළ බවයි පෙත්සම්කාරිය කියා සිටියේ.
කෙසේ වෙතත් අදාළ රන් පදක්කම එම විශ්ව විද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බවත් පෙත්සමේ සඳහන්.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බවයි.
මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ රන් පදක්කම විශ්ව විද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කරන බවයි තීන්දුවේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් නියමිත කාල සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙම රන් පදක්කම පෙත්සන්කාරියට පිරිනමන ලෙස නියෝගයක් නිකුත් නොකරන බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා











