දේශීය

හිස්බුල්ලාට මුදල් වංචාවක් කළ ගානා ජාතිකයින් අත්අඩංගුවට

‍පාර්ලිමේන්තු මන්ත්‍රි මුහම්මද් හිස්බුල්ලා මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කිරීමේ චෝදනාවකට ගානා ජාතිකයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රත්‍රං විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඝානා රාජ්‍යයේ ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

2023 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් හිස්බුල්ලාට රත්‍රං ලබාදෙන බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා පවසන්නේ අදාළ මුදල ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් විසින් මන්ත්‍රීවරයා සමග පැවැත්වු සියලු සබඳතා නවතා දමා ඇති බවටයි.

පසුව යළිත් හිස්බුල්ලා මන්ත්‍රීවරයාට රත්‍රං කිලෝග්‍රෑම් 50ක් විකිණීමට එම සැකකරුවන් ඉදිරිපත් වී ඇති අතර එම ගනුදෙනුවට නීත්‍යුනුකූල බවක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව සඳහන්.

ලැබුණු පැමිණිල්ලට අනුව ඝානා ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම සැකකරුවන් පසුගිය ඔක්තෝබර් 16 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කහ පැහැති රත්‍රං බවට සැකකෙරෙන ලෝහ 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ මෙම සිදුවීමට අදාළ නඩුව යළිත් නොවැම්බර් 20 වන දින කැදවිමට නියමිත බවයි.

Shares: