ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ භූමියෙන් අද (29) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවීම ගැන කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බන්ධනාගාර රැඳවියෙකු බව සඳහන්.
ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත ප්රජා විශෝධන කාර්යයන් සඳහා ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහායි අද දින රැඳවියන් තිදෙනෙකු පැමිණ ඇත්තේ.
ඉන් එක් රැඳවියකු අධිකරණයේ නඩු භාණ්ඩ රඳවා ඇති ගබඩාව පිරිසිදු කිරීමේදී 9mm වර්ගයේ උණ්ඩ රහිත ගිනිඅවියක් රැගෙන බන්ධනාගාර බස් රථයට ගොඩ වී තිබෙනවා.
අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත බන්ධනාගාරය වෙත යාමට අධිකරණ භූමියෙන් පිටත්ව ගොස් ඇති අතර එහිදී නඩු කටයුත්තක් සඳහා අද ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බන්ධනාගාර රැඳවියකුගේ පිටුපස අසුනේයි පිස්තෝලය සොරාගත් රැඳවියා වාඩි වී ඇත්තේ.
එහිදී අදාළ රැඳවියා සතුව යම් පාර්සලයක් තිබෙන බව බන්ධනාගාර බස් රථයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දැක ඇති අතර මෙම ගිනිඅවිය හමුවූයේ ඉන් පසුව සිදුකළ පරීක්ෂා කිරීමේදීයි.
ඉන් අනතුරුව බන්ධනාගාර බස් රථය නැවත අධිකරණය වෙත පැමිණ, අධිකරණයේ පොලිස් නිලධාරීන්ව දැනුම්වත් කර තිබෙනවා.











