අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් සමග පසුගිය නොවැම්බර් මස 5 වනදායි අත්අඩංගුවට ගනු ලැබුවේ.
එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා .
එහිදීයි අදාළ විදුහල්පතිවරයාට අයත් බව පැවසෙන එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිටුපස වළ දමා තිබූ මෙම හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 185ක තොගය සොයාගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ මීට අමතරව අදාළ විදුහල්පතිවරයා විසින් ඒ අසල පිහිටි වැවකට දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ පොලිතීන් සීලර් යන්ත්‍රයක් ද සොයාගෙන ඇති බවයි.
අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගය පක්ෂයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන බව ද පසුව අනාවරණය වූවා.
මීට අමතරව එම විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට මාසයකට ඉහත දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
පසුව අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමටයි උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කළේ.
මේ අතර සැමියාට සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට හේතුවෙන් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා.










