උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වනවා.
ඒ අනුව අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය සිට කොළඹ කොටුව බලායි ධාවනය වන්නේ.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ උඩරට මාර්ගයේ දුම්රිය පීලිපැනීම සිදුවූ ස්ථානය අවදානම් සහගත ස්ථානයක් බවට හඳුනාගෙන තිබූ බවයි.
උඩරට මාර්ගයේ දුම්රිය නඩත්තු කටයුතු අද රාත්‍රිය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
බදුල්ලේ සිට කොළඹ බලා පසුගිය 18 වනදා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ද ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීමෙන් පීලිපැනීමට ලක්ව තිබුණා.










