බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම අවදානම් සහිත මුහුදු ප්‍රදේශවල මේ වන විට රැකියාවේ නිරතව සිටින සියළුම ධීවර යාත්‍රා ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට යාත්‍රා කරන ලෙසත්, සියළුම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි එමගින් දැනුම් දෙන්නේ.
එමෙන්ම මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි නිවේදන සහ ගුවන් විදුලි පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් එහිදී අවධාරණය කර තිබෙනවා.
මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසිනුයි පැවතුණේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි අතර එම දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.










