වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය මේ බව කියා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද එහිදී ඇය අවධාරණය කර සිටියා.
එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා අනුපාතය 2025 වසරේ දී 3.8ක් දක්වා පහළ බැස ඇති බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන සුදුසුකම් අනුව විරැකියාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව අපොස සාමාන්‍ය පෙළට පහළ, එක්ලක්ෂ තුන්දහස් තුන්සිය අටක (103,308) ප්‍රමාණයක් සිටින බවත්, අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස අනූඑක් දහස් හාරසිය පහක් (91,405) වන බවයි.
එසේම අපොස උසස් පෙළ සමත්, එක්ලක්ෂ විසි අටදහස් නවසිය අසූ හතරක් (128,984) මෙසේ විරැකියාවෙන් පෙළෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය උපාධිය සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති 42,254ක ප්‍රමාණයක් විරුකියාවෙන් පෙළෙන බවයි පැවසුවේ.
දැනටමත් 12,000ට අධික උපාධිදාරීන් පිරිසකට මේ වනවිට රැකියා ලබා දී ඇති බවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති ආකාරයටම ඉතිරි පිරිසටත් රැකියා ලබාදීමට කටයුතු කරන බවත් එහිදී ඇය කියා සිටියා.
එමෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය තවදුරටත් පැවසුවේ ගුරුපත්වීම් පිළිබඳ නඩු මේ වන විට අවසන් වී ඇති අතර අභියාචනාධිකරණයෙන් නිල වශයෙන් දැනුම් දුන් වහාම බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.











