උණුසුම් පුවත්

ලංකාවට බලපෑ ආපදා තත්ත්වය පිළිබඳ චීන ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් විශාල ජීවිත හා ආර්ථික හානි සිදු වූ බව දැන ගත් විගස තමා කම්පනයට පත් වූ බවයි ෂී ජින්පිං මහතා ඊයේ (3) යොමු කළ එම පණිවිඩයෙන් පවසා ඇත්තේ.

චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් තමා එම විපතෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් දැඩි ශෝකය පළ කරන අතර ඔවුන්ගේ පවුල් හා බලපෑමට ලක් ජනතාවට අවංක සංවේගය ප්‍රකාශ කරන බව ද ඔහු කියා සිටියා.

චීනය හා ශ්‍රී ලංකාව අවංකව අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙන, පාරම්පරික මිත්‍රත්වයෙන් බැඳී සිටින උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන් බවත්, විපතට මුහුණදීමට චීනය ශ්‍රී ලංකාවට අනුබලය හා සහාය ලබා දීමට කැමැත්තෙන් සිටින බවද එම ශෝක පණිවිඩයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් නායකත්වයෙන් එහි ජනතාවට කඩිනමින් විපත ජය ගෙන සිය නිවාස යළි ගොඩනැගීමට හැකි වෙතැයි විශ්වාස කරන බවයි චීන ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Shares: