කාළගුණය

නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් හඳුනා ගැනේ

නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අදාළ ස්ථානවල සිටින ජනතාව අනිවාර්යයෙන්ම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවයි එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ.

ඔහු කියා සිටියේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් හරහා දිස්ත්‍රික් ලේකම් ඔස්සේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ලැබෙන සිදුවීම් ප්‍රමුඛතා ලැයිස්තුවක් මත අධ්‍යයනය කරන බවයි.

මේ අතර, ඊයේ (08) සවස 4ට දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කරන බවද එම සංවිධානය නිවේදනය කරනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 31කට අදියර 2 යටතේ අවදානම් සිටින ලෙසද නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට වූ නිවේදනය තවත් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19කට අදාළව නිකුත් කර ඇති බවයි සේනාධීර මහතා පැවසුවේ.

ඊශානදිග මෝසම් වැස්ස යම් තරමකට ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බැවින් අනතුරුදායක ස්ථානවල සිටින ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙසත්, ආරක්ෂිත ස්ථාන වෙත සිටින ජනතාව එම ස්ථානවල ම රැඳී සිටින ලෙසත් පවසා සිටි ඒ මහතා කියා සිටියේ අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසයි.

එසේ නොමැති වුවහොත් ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි බව ද ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: