අශෝක රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවට සහ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවට එම වාහන පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ රිය අනතුරකට ලක් වූ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ වාහනයේ පරීක්ෂණ වාර්තාව පමණක් පොලීසිය වෙත ලැබී ඇති බවත්, ඔහුගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවයි.
එමෙන්ම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර තීරණය කරන බවයි එෆ්.යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.
අනතුර සම්බන්ධයෙන් අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමටයි නියෝග කළේ.
කෙසේවෙතත් අනතුරුව මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිගෙන් විමසීමකදී ඔහු සඳහන් කළේ, මන්ත්‍රීවරයාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බවයි.
එසේම මේ වන විට අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පල, පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.









