විදෙස්

බොන්ඩි ප්‍රහාරයට අදාළව තවත් බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් සොයා ගැනේ

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවි බෝම්බ ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම උපකරණ සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට පොලීසිය පවසන්නේ එම සැකකරු සතුව තිබී පතොරම් දහස් ගණනක්, හමාස් සහ හිස්බුල්ලා ධජ සහ පුපුරණ ද්‍රව්‍ය සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු සාප්පු ලැයිස්තුවක් හා පහරදීම සදහා සැලසුම් කළ ස්ථාන ලැයිස්තුවක් ද සොයාගෙන ඇති බවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පදිංචි 39 හැවිරිදි Martin Thomas Glynn නම් මෙම සැකකරු සමාජ මාධ්‍ය ජාල තුළ යුදෙව් විරෝධී සටහන් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර තහනම් ආයුධයක් රැගෙන යාම ඇතුළු වැරදි තුනක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු අධිකරණ විභාගය සඳහා පෙනී සිටියා.

දෙසැම්බර් 14 වන දින, හනුකා සැමරුමක් අතරතුර සුප්‍රසිද්ධ බොන්ඩි වෙරළ තීරයේ දී තුවක්කුකරුවන් දෙදෙනෙකු පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනය කිරීමෙන් පැය කිහිපයකට පසු Glynn වෙඩික්කරුවන්ට සහාය පළ කරමින් සමාජ මාධ්‍ය සටහන් තැබූ බවයි පොලිසිය පර්ත්හි අධිකරණය ඉදිරියේ කරුණු ප්‍රකාශ කරමින් චෝදනා කළේ.

ඔහු සිය එක් සටහනකින් “මම කියන්න කැමතියි. මම Martin Glynn, නිව් සවුත් වේල්ස් වෙඩික්කරුවන්ට සියයට සියයක් සහාය දෙනවා,” යනුවෙන් පැවසූ බවට එරට පොලිසිය, අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා.

පසුගිය අඟහරුවාදා එම සකකරු අත්අඩංගුවට ගැනීම සිදු වූයේ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස්හි රජය, තුවක්කු හිමිකම පිළිබඳ නීති දැඩි කරන සහ මාස තුනක් දක්වා වීදිවල විරෝධතා තහනම් කරන ප්‍රතිසංස්කරණ මාලාවක් යෝජනා කළ දිනයේදීයි.

ඔහුගේ නිවසෙහි පොලිසිය සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කරන අතරතුර සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීමේදී විමර්ශකයින් හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමේ ධජ, නීත්‍යානුකූලව අත්පත් කරගත් රයිෆල් හයක් සහ පතොරම් 4,000 ක් ද එම නිවසේ තිබී සොයා ගනු ලැබුවා.

Shares: