දේශීය

නිවසට ගිනි තැබීමෙන් පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා ඇති අතර, ගින්නට හසුවී එම පුද්ගලයා සහ ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසිනුයි මෙම ගිනිතැබීම සිදුකර ඇත්තේ.

පොලිසිය පැවසුවේ ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟයි එම ස්ථානයට පැමිණ ඇත්තේ.

පසුව 20 හැවිරිදි පුත්‍රයා පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ සිය මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දීයි.

ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන බවත්, ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි සිදුකර දෙපාර්ශ්වයට අවවාද කර ඇති බවටත් තොරතුරු අනාවරණය වූවා.

Shares: