ක්‍රීඩා

අළු බඳුන කුසලානය 4-1ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගනී

පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව, මෙවර එම තරගාවලිය 4-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) පැවැති මෙම තරගයේ අවසන් දිනයේදීයි ඕස්ට්‍රේලියාව මෙම ජයග්‍රහණය දිනා ගත්තේ.

ඕස්ට්‍රේලියාව සමග තරග කළ එංගලන්තය සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ලබාගත් අතර, පළමු ඉනිමේදී ඔවුන් දැවී ගියේ ලකුණු 384කටයි.

පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී ලකුණු 567ක් රැස්කළා.

ඒ අනුව, පළමු ඉනිමේ ලකුණු 183ක වාසිය ද සමග ලකුණු 160ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව සිය ඉලක්කය කරා ළඟා වූයේ කඩුලු 05ක් දැවී යාමෙනුයි..

එහිදී ඇලෙක්ස් කේරි (නොදැවී 16) සහ කැමරන් ග්‍රීන් (නොදැවී 22) එක්ව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

තුන්වැනි ශතකය ද වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා වූ අතර, තරගාවලිය පුරා කඩුලු 31ක් දවාගත් මිචෙල් ස්ටාර්ක් ක්‍රීඩකයායි තරගාවලියේ වීරයා ලෙස පිදුම් ලැබුවේ.

22 හැවිරිදි නවක ක්‍රීඩක ජේකබ් බෙතෙල් එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 154ක් රැස් කළා.

පන්දු යැවීමේදී ජොෂ් ටොන්ග් කඩුලු 3ක් දවාගනිමිනුයි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේ.

මෙම ජයග්‍රහණයත් සමග 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

එමෙන්ම මෙම තරගය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ අවසන් ටෙස්ට් තරගය වීමද විශේෂත්වයක්.

Shares: