දේශීය

ජා-ඇල බටුවත්තේ වෙඩි තැබීමක් – ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳගේ නිවසට ප්‍රහාරයක්

ජා-ඇල ප්‍රදේශයේ අද (07) උදෑසන සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කටයුතු සමඟ සම්බන්ධය ඇති බවට සැලකෙන ‘බටුවත්තේ චාමර’ ලෙස හඳුන්වන පුද්ගලයාගේ බිරිඳගේ නිවස මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කරන්නේ ජා-ඇල ශාන්ත ඈන්ස් පාරේ පිහිටි එම නිවස වෙත සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය සිදු කර ඇති බවයි. ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු නොවූ බවත් දේපළ හානි පිළිබඳ තොරතුරු පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවත් පොලිසිය පවසා තිබෙනවා.

ප්‍රහාරය සිදු කළ සැකකරුවන් වෙඩි තැබීමෙන් අනතුරුව එම යතුරුපැදියෙන්ම පලා ගොස් ඇති බවට සැක කෙරෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ජා-ඇල පොලිසිය තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Shares: