දේශීය

ශ්‍රීලංකන් එයාර්බස් ගනුදෙනුව ගැන ප්‍රකාශ ලබාදී මහින්ද රාජපක්ෂ CIABOCයෙන් පිටවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හමුවේ පෙනී සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී මීට ටික වේලාවකට පෙර එම කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

2013 වසරේදී SriLankan Airlines සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, අද උදෑසන හිටපු ජනාධිපතිවරයා CIABOC හමුවට පැමිණි අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න මහතාටද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සිතාසියට අදාළ නීතිමය කරුණු කිහිපයක් පිළිබඳ නීතිඥ කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කපිල චන්ද්‍රසේන මහතා විසින් සිදුකළ බව කියන පාපොච්චාරණයක් මත මෙම සිතාසිය නිකුත් කර ඇති බවට තොරතුරු පවතින බවයි.

එමෙන්ම, කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් තමන්ගෙන් පාපොච්චාරණය ලබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් සහ තර්ජන මධ්‍යයේ බව ප්‍රකාශ කර තිබූ බවද ඔහු සිහිපත් කර තිබෙනවා.

ඒ අනුව, එම පාපොච්චාරණය පමණක් පදනම් කරගෙන මෙම සිතාසිය නිකුත් කර ඇත්නම්, එය නීතිවිරෝධී තත්ත්වයක් විය හැකි බවටද නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කර තිබෙනවා.

මෙම සිද්ධිය මේ වනවිට දේශපාලන හා සමාජ මාධ්‍ය වටා දැඩි අවධානයට ලක්ව ඇති අතර, ඉදිරි විමර්ශනවල ප්‍රතිඵල පිළිබඳවද මහජන උනන්දුව ඉහළ ගොස් තිබෙනවා.

 

Shares: