කාළගුණයදේශීය

දිවයිනට “අම්බර්” වැසි අනතුරු ඇඟවීමක්

මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි – ජලාශ රැසක් වාන් දමයි

අද (13) දිනය සඳහා බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් “අම්බර්” මට්ටමේ තද වැසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වැසි

කාලගුණ අංශ අනතුරු අඟවන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවන ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජලාශ 33ක් වාන් දමයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළමනාකරණය යටතේ පවතින ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාර්තා වනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ අද (13) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.

දැනට වාන් දමන ප්‍රධාන ජලාශ අතර,

රාජාංගනය ජලාශය
අඹේවෙල ජලාශය
මවුආර ජලාශය
ලුණුගම්වෙහෙර ජලාශය
තිස්ස වැව
වීරවිල ජලාශය
යෝධ වැව
වෙහෙරගල ජලාශය
අබකොළ වැව
උස්ගල සියඹලාගමුව ජලාශය
මාගල්ල ජලාශය
දැදුරුඔය ජලාශය
නාලන්ද ජලාශය
වෑමැඩිල්ල ජලාශය
අලිකොට ආර ජලාශය
ඇතුළත් වනවා.

රාජාංගනය සහ ලුණුගම්වෙහෙර ජලාශවලින් විශාල ජල ප්‍රමාණයක් මුදාහරියි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයකට ජලය ඝන අඩි 14,000කට වැඩි ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙන බව වාර්තා වනවා.

එසේම,

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර කිරිඳි ඔයට තත්පරයකට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් මුදා හැරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් මඟින් මැණික් ගඟට තත්පරයකට ඝන අඩි 2,400කට වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කරමින් පවතිනවා.

පහත් බිම් ජනතාවට විශේෂ අවවාද

ගංගා, ඇළ මාර්ග සහ ජලාශ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

පසුගිය පැය 24ට වැඩිම වර්ෂාපතනය කැස්බෑවෙන්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 204කි.

අනෙකුත් ප්‍රදේශවල වාර්තා වූ වර්ෂාපතනය,

වේයන්ගොඩ – මි.මී. 145.5
ගිලිමලේ – මි.මී. 121
වතුපිටිවල – මි.මී. 105.5
බණ්ඩාරගම – මි.මී. 102.5
හොරණ – මි.මී. 101.5

ජනතාවට දැනුම්දීමක්

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී,

තද සුළං
අකුණු
හදිසි ජල ගැලීම්
ගස් කඩා වැටීම්
නායයෑම්
වැනි අවදානම් ඇතිවිය හැකි බැවින් ජනතාව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ අංශ සහ ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටිනවා.

අනවශ්‍ය ගමන් සීමා කිරීම, ගංගා සහ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටීම,
විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම, නිල කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටීම
අත්‍යවශ්‍ය බව ද දැනුම්දී තිබෙනවා.

Shares: