දේශීය

පොළොන්නරුවේ අල්ලස් දැලට හසු වූ ප්‍රාදේශීය ආදායම් කාර්යාල සනීපාරක්ෂක සේවකයා අත්අඩංගුවට

පොළොන්නරුව ප්‍රාදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සනීපාරක්ෂක කම්කරුවෙකු අද (13) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු රුපියල් 35,000ක අල්ලසක් ලබාගෙන ඉඩමක වටිනාකම අඩුවෙන් සඳහන් කරමින් තක්සේරු වාර්තාවක් සකස් කර දෙන බවට පොරොන්දු වූ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

CIABOC නිලධාරීන් පවසන්නේ, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද පෙරවරු 9.27ට පමණ මෙම වැටලීම ක්‍රියාත්මක කළ බවයි.

පැමිණිලිකරුගේ ඥාති සොහොයුරෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ගැනීම සඳහා ඔප්පුව සකස් කිරීමේදී, ඉඩමේ සැබෑ වටිනාකම අඩුවෙන් සඳහන් කර දෙන බවට සැකකරු පොරොන්දු වී ඇති බව සඳහන් වනවා.

ඒ අනුව රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තුව අවම කර දීම සඳහා මුලින් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර, පසුව දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකින් පසු එම මුදල රුපියල් 35,000 දක්වා අඩු කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අනාවරණය කර තිබෙනවා.

අදාල මුදල ලබාගනිමින් සිටියදී පොළොන්නරුව ප්‍රාදේශීය ආදායම් දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා එම කාර්යාලයට අනුයුක්ත සනීපාරක්ෂක සේවකයෙකු බව ද නිලධාරීන් තහවුරු කර තිබෙනවා.

සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Shares: