එප්පාවල ප්‍රදේශයේ ප්‍රමුඛ රජයේ පාසලක 12 ශ්‍රේණියේ සිසුවෙකු විසින් තවත් සිසුන් පස්දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කළ බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ සියලුම සිසුන් උසස් පෙළ තාක්ෂණවේදය අංශයේ ඉගෙනුම ලබන 12 ශ්‍රේණියේ සිසුන් වන අතර, ඔවුන් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ප්‍රහාරය එල්ල කළ සිසුවාද එම පාසලේම විද්‍යා අංශයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි.
විමර්ශන අනුව, සැකකාර සිසුවා සහ තුවාල ලැබූ සිසුන්ගෙන් එක් අයෙකු අතර දින කිහිපයකට පෙර ආරවුලක් ඇතිව තිබූ අතර, පසුව එය දරුණු ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස සැකකාර සිසුවා පාසල් භූමිය තුළට තියුණු ආයුධයක් රැගෙනවිත් එක් සිසුවෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම අවස්ථාවේ මැදිහත් වීමට උත්සාහ කළ තවත් සිසුන් සිව්දෙනෙකුද තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
සිද්ධියෙන් පසු එප්පාවල පොලීසිය විසින් සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රහාරයට යොදාගත් ආයුධයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.











