පිලිපීනයේ දේශපාලන ඉතිහාසයේ තවත් උණුසුම් පරිච්ඡේදයක් ලෙස සෙනෙට් සභාව වටලා තැබූ අර්බුදකාරී සිදුවීමක් මේ වනවිට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් චෝදනා එල්ල කර ඇති සෙනෙට් සභික රොනල්ඩ් “බාටෝ” ඩෙලා රෝසා සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය හේතුවෙන් මැනිලාහි පිහිටි සෙනෙට් සභා ගොඩනැගිල්ල බදාදා රාත්‍රියේ දැඩි ආරක්ෂාවකට ලක් කෙරුණා.
රූපවාහිනී දර්ශනවලින් දැක්වුණේ සන්නද්ධ පොලිස් කමාන්ඩෝ භටයින් සෙනෙට් සභාවට ඇතුළු වන අයුරුත්, ගොඩනැගිල්ල වටා කැරලි මර්දන පොලිස් නිලධාරීන් පලිහ සහ හිස්වැසුම් සමඟ රැඳී සිටින ආකාරයත්ය. එම අවස්ථාවේදී වෙඩි තැබීම් වට කිහිපයක් ඇසුණද, වෙඩි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව පිලිපීන බලධාරීන් තහවුරු කර තිබෙනවා.
සෙනෙට් සභික රොනල්ඩ් ඩෙලා රෝසා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට විශ්වාස කරන බවයි. එමෙන්ම එවැනි ක්‍රියාවක් වැළැක්වීමට පිලිපීන ජනතාවගෙන් සහය ඉල්ලා සිටීමටද ඔහු කටයුතු කර තිබුණා.
ඩෙලා රෝසා යනු හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ ප්‍රසිද්ධ “මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ” ප්‍රධාන චරිතයක්. ඔහු පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ දහස් ගණනක් මත්ද්‍රව්‍ය සැකකරුවන් සහ වෙළෙන්දන් වෙඩි තබා ඝාතනය කළ බවට ජාත්‍යන්තර මට්ටමින් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.
ICC අධිකරණය පවසන්නේ එම මෙහෙයුම්වලදී දුසිම් ගණනක මනුෂ්‍ය ඝාතන සෘජුවම ඩෙලා රෝසාගේ වගකීම යටතේ සිදුවූ බවයි. මේ වනවිට හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ 2025 මාර්තු මාසයේ සිට නෙදර්ලන්තයේ හේග් නගරයේ ICC අධිකරණ භාරයේ රඳවා සිටිනවා.
වෙඩි හඬ සහ ආරක්ෂක බලකා පැමිණීමත් සමඟ ඩෙලා රෝසා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් පැතිර ගියද, පිලිපීන රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අභ්‍යන්තර ලේකම් ජොන්වික් රෙමුල්ලා පැවසුවේ ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභිකයින්ගේ ආරක්ෂාව සඳහා “දැඩි උපදෙස්” ලබාදී ඇති බවයි.
“අපි මෙහි සිටින්නේ සෙනෙට් සභික ඩෙලා රෝසා අත්අඩංගුවට ගැනීමට නොවේ. ඇත්ත වශයෙන්ම අපි මෙහි සිටින්නේ ඔහුව ආරක්ෂා කිරීමටයි,” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
සෙනෙට් සභාවෙන් පිටත විරෝධතා
මේ අතර සෙනෙට් සභා ගොඩනැගිල්ලෙන් පිටත විරෝධතාකරුවන් රැස්ව සිටියේ ඩෙලා රෝසා ICC වෙත භාරදෙන ලෙස ඉල්ලා සිටිමිනි. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ඩුටර්ටේ සමඟම ඩෙලා රෝසාද ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ඩෙලා රෝසාගේ නීතිඥයින්, ඔහු ICC වෙත පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා පිලිපීන ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
පිලිපීන දේශපාලනයේ තවත් විශාල පෙරළියක් වන්නේ ඩුටර්ටේ පවුල සහ වත්මන් ජනාධිපති බොන්ග්බොන්ග් මාකෝස් අතර ඇතිවී තිබෙන දැඩි ආරවුලයි.
දැනට සෙනෙට් සභාවේ බලය බොහෝ දුරට ඩුටර්ටේ හිතවාදීන් අතේ පවතින අතර, ඔහුගේ දියණිය සාරා ඩුටර්ටේ මේ වනවිට උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරනවා.
කෙසේ වෙතත් වසර දෙකකට පෙර මාකෝස් – ඩුටර්ටේ දේශපාලන සන්ධානය බිඳ වැටීමෙන් පසු දෙපාර්ශ්වය අතර බල අරගලය තවත් උග්‍ර වී තිබෙනවා.
මේ සතියේ කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය සාරා ඩුටර්ටේට එරෙහි දෝෂාභියෝගයක් ආරම්භ කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර, එය අවහිර කිරීමට හැකි බලය සෙනෙට් සභාව සතුව තිබෙනවා.
හිටපු ජනාධිපති ඩුටර්ටේ දිගින් දිගටම ICC අධිකරණයේ බලය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ 2019 දී තම පාලන සමයේදී පිලිපීනය ICC හි රෝම ප්‍රඥප්තියෙන් ඉවත් වූ බවයි.
නමුත් ICC පූර්ව නඩු විභාග මණ්ඩලය පසුගිය මාසයේ එම තර්කය ප්‍රතික්ෂේප කළේ, චෝදනා එල්ල වී ඇති අපරාධ 2011 සිට 2019 දක්වා — පිලිපීනය තවමත් ICC සාමාජිකයෙකුව සිටි කාලය තුළ — සිදුවූ බව පෙන්වා දෙමිනුයි.
ඒ අනුව ඩුටර්ටේට එරෙහි නඩු විභාගය ඉදිරියට ගෙන යාමට ICC අධිකරණය මාර්ගය විවෘත කර තිබෙනවා.
මෙම අර්බුදය පිලිපීනයේ දේශපාලන අනාගතයට පමණක් නොව, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.











