දේශීය

සජබට එක්වූ එජාප පාක්ෂිකයන්ට පැනවූ තහනම් නියෝග අහෝසි කෙරේ

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ(16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි එහිදී පියවර ගැනුණේ.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර නිසා යළි එක්සත් ජාතික පක්ෂය හා එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයි එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත වුණා.

Shares: