මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඔවුන් සඳහන් කළේ ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බවටයි.
මිතුරන්ගේ බලපෑම පාසල් ළමුන් මත්ද්‍රව්‍ය සදහා යොමුවීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙසයි එම මණ්ඩලය හඳුනාගෙන ඇත්තේ.
විශේෂයෙන් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති පාසල තුළ ක්‍රියාත්මක නොවීම, පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් විදුහල්පති, කලාප අධ්‍යාපන කාර්යාල වැනි තැන්වල ඇති අඩු උනන්දුව යන කරුණු ද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීමට හේතු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මීට අමතරව, පාරිසරික සාධක ලෙස බිඳුනු පවුල් පරිසරයන් තුළ ඇති ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, පවුල හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාවය, දිළිඳු භාවය හා ඌණ පෝෂණය ඇතුළු කරුණු ද ඊට ඇතුළත්.
පාසල් ළමුන් හා තරුණයින් මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමීතින් දේශීයකරණයට ලක්කර ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, තාරුණ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවරණය අධ්‍යාපනය හා පුහුණුව, පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, වැඩබිම් පාදක මත්ද්‍රව්‍ය නිවාරණය අධ්‍යාපනය හා පුහුණුව, පාරිසරික පාදක මත්ද්‍රව්‍ය අධ්‍යාපන පුහුණුව හෙවත් මත්ද්‍රව්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපන හා පුහුණුව යන ධාරා ඔස්සේ ඒවා ක්‍රියාත්මක වනවා.
එසේම දැනට මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති දරුවන් වෙනුවෙන් අනාවරණ පරීක්ෂණ සිදුකිරීම, තක්සේරු පරීක්ෂණ සිදුකිරීම හා රෝග නිවාරණය සඳහා උපදේශනය, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය හා පසු රැකවරණ සේවා මගින් අඛණ්ඩව අධ්‍යයනයට යොමුකිරීම ඉලක්ක කර ගනිමිනුයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවු පාසල් සිසුන් ඉන් මුදවා ගැනීම සම්බන්ධයෙන් ද එම මණ්ඩලය ක්‍රියා කරන අතර ඒ සඳහා වූ පාසල් උපදේශක ගුරුවරු පුහුණු කර ඇත්තේ අනාවරණ පරික්ෂණයකින් අනතුරුව පියවර තුනක් ඔස්සේ ක්‍රියා කිරීමටයි.
ඒ අනුව, අඩු අවදානමක් සහිත සිසුන් සඳහා උපදේශන හා මැදිහත්වීම් සිදු කිරීම පළමු පියවර ඔස්සේ සිදු කරනු ලබනවා.
දෙවන පියවර ඔස්සේ මැදි අවදානමක් සහිත සිසුන් හඳුනා ගැනීම සහ ඉහළ අවදානමක් සහිත සිසුන් හඳුනාගෙන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් වෙත යොමු කිරීම සිදු කරනු ලබයි.
අවසන් පියවර ලෙස එම මණ්ඩලයේ යොවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ක්‍රියාවලියට ලක්කර නැවත පාසල් අධ්‍යාපනයට හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෘත්තිය අධ්‍යාපනයට යොමුකරවීමට මාර්ගය සැලසීම සිදු කරනු ලබනවා.
තවද වසරේ ජනවාරි මස පළමුවනදා සිට අගෝස්තු 31 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව පොලිසිය භාරයට ගෙන ඇති ළමුන් සංඛ්‍යාව 206ක්.
ඉන් ළමුන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් පාසල් සහ ඊට අදාළ ආයතනයන්හි වැඩසටහන් 15,652ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරටත් කියා සිටියා.











