විදෙස්

වියට්නාමයේ සුළි කුණාටුවෙන් 02ක් මරුට – 17ක් අතුරුදන්

වියට්නාමයට බලපා ඇති ‘‘බුවාලෝයි‘‘ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එරට රජයේ ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ හියු නගරයේ ගංවතුරට හසුවීමෙන් එක් අයෙකු මිය ගිය බවත්, තන් හෝවා පළාතේ ගසක් කඩා වැටීමෙන් තවත් අයෙකු මිය ගිය බවයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ මුහුදු ගිය ධීවරයින් පිරිසක්.

ක්වාං ට්‍රයි පළාතෙන් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකකට දැවැන්ත රළ පහරක් එල්ල වීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර කුණාටුව අතරතුර තවත් ධීවර බෝට්ටුවක් සම්බන්ධතා නැතිව ඇති බවයි මාධ්‍ය වාර්තා දක්වන්නේ.

එමෙන්ම මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 28,500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

තවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ වියට්නාමයේ ගුවන් තොටුපළවල් හතරක් තාවකාලිකව වසා දැමීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර සිය ගණනක් ගුවන් ගමන් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බවයි.

Shares: