දේශීය

ජපාන අග්‍රාමාත්‍යවරයා හා ජනපති හමුවෙයි

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදි සිදු වූවා.

එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් දෙරට අතර ස්ථාපිත කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීරණ හවුල්කාරිත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථික ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ඇති අරමුණ පිළිබඳවයි නැවත තහවුරු කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළ අතර එහිදී යළිත් අවධාරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සඳහා ජපානය අඛණ්ඩ සහයෝගය දක්වන බවයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, නිල ණය හිමි කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස ජපානය ලබා දුන් නායකත්වයට හා මෙම වසරේ මාර්තු මාසයේදී නිල ණය හිමි කමිටුවේ සාමාජික රටක් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ පළමු නිල ණය හිමි කමිටුවේ සාමාජිකයා ජපානය වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්තුතිය පළ කරනු ලැබුවා.

2024 වසරේදී, අනෙකුත් ණයහිමි රටවලට පෙර, පෙර අත්සන් කර තිබූ යෙන් ණය ව්‍යාපෘති 11 ක් නැවත ආරම්භ කිරීම ඇතුළුව ජපානය ලබා දුන් අඛණ්ඩ සහයෝගයටයි ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට දායක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ (අදියර 2) ලංසු තැබීම නැවත ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ අතර, අදාළ ක්‍රියාවලිය ඉක්මනින් නිම කිරීම සඳහා දෙරට අතර ඇති කැපවීම තහවුරු කළා .

එසේම සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම සහ භෞමික රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම ඇතුළුව දැනටමත් පවතින යෙන් ණය ව්‍යාපෘති ස්ථාවරව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවයි මෙහිදී දෙපාර්ශ්වයම තහවුරු කළේ.

දූෂණය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා ජපානය අඛණ්ඩව සහයෝගය දැක්වීමට අදහස් කරන බවත් ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා මහතා මෙහිදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ජාතික සංහිඳියාව සහ සමාජ-ආර්ථික සංවර්ධනය සමීපව අන්තර් සම්බන්ධිත බව මතක තබා ගනිමින්, උතුර සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජපානයේ සහයෝගය අඛණ්ඩව ලබා දීමේ කැපවීම පිළිබඳවයි.

තවද ජපානයේ කන්සායි, ඔසාකා හි පැවැති එක්ස්පෝ 2025 (EXPO 2025) සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව සහභාගී වීම සහ ශ්‍රී ලංකාවේ ජාතික දින සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳව අගමැති ඉෂිබා මහතා සිය ප්‍රසාදය පළ කළා.

සංචාරයේ අනිවාර්ය අංගයක් ලෙස ඔසාකා සහ ටෝකියෝ හි පැවැත්වෙන ඉහළ මට්ටමේ ව්‍යාපාරික උත්සව දෙකක් ඇතුළුව ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධාරණය කිරීම දෙපාර්ශ්වයම පිළිගනු ලැබූ අතර ජනාධිපති දිසානායක මහතා අග්‍රාමාත්‍ය ඉෂිබා මහතාට සහ ජපාන ජනතාවට අවංක කෘතඥතාව පළ කළේ සංචාරය අතරතුරදී ලබා දුන් උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙනුයි.

Shares: