දේශීය

දෙහිවල සත්තු වත්තේ පරෙවියන් 32ක් සොරකම් කරලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේ දී හෝ සෙනසුරාදා දින අලුයම් කාලයේ දී මෙම සතුන් සොරකම් කරන්නට ඇතැයි සැකකරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කර ඇති අතර එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්‍යානයේ රදවා සිට ඇති බව සඳහන්.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග යටතේ සත්ත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි දෙහිවල පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබඳව දෙහිවල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Shares: