පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ සිදු වුණා.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ වැඩ වසන පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදා ගැනීමට ලොව නන් දෙසින් පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිසයි මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකරනු ලැබුවේ.
ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ගොඩනැගුණු මෙම දෙමහල් මන්දිරය ඉඳි ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේයි.
ඒ අනුව ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද ගිය ජනාධිපතිවරයා චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ලැබුවා.
සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කළේ ඉන් අනතුරුවයි.
මහඟු පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෝමවති චෛත්‍යරාජයාණන් වහන්සේ පිළිබඳ ඉතිහාසයට පිවිසීමේ කවුළුවක් බවට මෙම නව පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය පත්වනු ඇති බවයි මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ.
විද්‍යාව සහ තාක්ෂණය සමග මුසු වූ විධිමත් සංවර්ධන සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික සෝමවති පුදබිම ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට දායාද කිරීමේ වැඩපිළිවෙළ ඉටු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වූයේ රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින්.
විරාධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේගේ ප්රමුඛ මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝද, රත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා මානෙල් දීපානි ගමගේ මහත්මිය සහ දායක සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.











