උණුසුම් පුවත්

වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුට ඇප – නමුත් යළි රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මතයි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබුණේ.

එහෙත් පසුව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුව ඇති අතර, ඒ අනුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක මාර්තු මස 11 වනදා රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක්ව තිබුණා.

අදාළ වෛද්‍යවරිය සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබූ අතර, පසුව රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණයි රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර ඇත්තේ.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වනවා.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේයි දොර වසා දමා තිබෙන්නේ.

මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බවයි.

අනතුරුව සැකකාර පුද්ගලයා වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගොස් තිබෙනවා.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකිනුයි සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම් දී ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුව යුද හමුදා සේවයෙන් පළා ගොස් සිටි කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරුව අත්අඩංගුවට ගැනුණා.

එහිදී අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙකු බවටයි වාර්තා වන්නේ.

ඔහු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර විමර්ශනවලදී හෙළිව ඇත්තේ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇති බවයි.

පසුව සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හිංසනයට පත් වෛද්‍යවරිය විසින් හඳුනා ගනු ලැබුවා.

Shares: