දේශීය

වන්නිනායකගේ පෙත්සම කැඳවන්න දින දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ දීයි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර නීතීඥ වන්නිනායක මහතා ඊයේ දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙන බව දැනුම් දුන්නා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය යන මහත්වරු ද එම ඉල්ලීමට එකගතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙසයි අභියාචනාධිකරණය නියම කළේ.

Shares: