දේශීය

සමාජ මාධ්‍යය කැලඹූ අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකුගේ වීඩියෝව ගැන විමර්ශනයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැඳවියෙකු බන්ධනාගාරයක් තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුව පහසු ලෙස රැදී සිටින ආකාරය දැක්වෙමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය භාවිත කරන අකාරය මෙන්ම තවත් රැඳවියෙකු විසින් ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරයයි එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වී තිබුණේ එම වීඩියෝ පටයේ සිටින රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවටයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී එම සිදුවීම බූස්ස බන්ධනාගාරයේ සිද්ධියක් නොවන බවට එම බන්ධනාගාර අධිකාරිවරයා විසින් තහවුරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බූස්ස, ගාල්ල, සහ අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල අධිකාරිවරුන්ට දැනුම් දී ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Shares: